පැණි බීම පිළිකා අවදානම ඉහළදමයි

                                             

                                             


                      සීනි සහිත බීම වර්ග (පලතුරු යුෂ සහ සිසිල් බීම ද ඇතුළු පැණි බීම) පානය කිරීම පිළිකා අවදානම ඉහළ දැමීමට හේතුවක් විය හැකි බව ප්‍රංශ විද්‍යාඥ කණ්ඩායමක් පවසති.ලක්ෂයකට අධික පිරිසක් යොදා ගනිමින් වසර පහක් පුරා සිදුකළ අධ්‍යයනයක ප්‍රතිඵල මත මෙම නිගමනයට පැමිණ ඇති අතර එම අධ්‍යයනය බ්‍රිතාන්‍ය වෛද්‍ය සඟරාවේ ද (British Medical Journal) පළකර තිබිණ.රුධිරයේ සීනි මට්ටම්වල බලපෑම මෙම පිළිකා අවදානමට හේතුව විය හැකි යැයි, පර්යේෂණය මෙහෙය වූ සෝබෝන් විශ්වවිද්‍යාලයට අනුබද්ධ පැරිස්හි උසස් අධ්‍යාපන හා පර්යේෂණ ආයතනයේ විද්‍යාඥයෝ අනුමාන කරති.

            සීනි සාන්ද්‍රණය 5% කට වඩා වැඩි නම් එය පැණි බීමක් හෝ සීනි සහිත පානයක් (sugary drinks) ලෙස පර්යේෂකයෝ අර්ථ දක්වති.එය පලතුරු යුෂ, සිසිල් බීම, රස කාරක යෙදූ කිරි, ශක්ති ජනක පාන හෝ සීනි අඩංගු කළ තේ හෝ කෝපි විය හැක. සීනි මිශ්‍ර නොකළ (no added sugar) පලතුරු බීම ද මීට ඇතුළත්ය.සීනි වෙනුවට කැලරි රහිත කෘතිම රසකාරක යෙදූ බීම වර්ග ද (diet drinks using zero-calorie artificial sweeteners) මෙම පර්යේෂණයට යොදාගෙන ඇති නමුත් එම බීම පානය කිරීම සහ පිළිකා හටගැනීම අතර සම්බන්ධයක් සොයා ගැනීමට හැකි වී නැත.


 දිනකට අවශ්‍ය ප්‍රමාණය ඉක්මවා, පැණි බීම මිලි ලීටර් 100 ක් අමතරව පානය කිරීම තුළින් පිළිකා වැළඳීමේ අවදානම 18% කින් ඉහළ යා හැකි බව මෙම පර්යේෂණයේ නිගමනය වී තිබේ. සතියකට සිසිල් බීම කෑන් දෙකක් පානය කිරීමෙන් මෙම අවදානමට ගොදුරු විය හැක.

උපුටා ගැනීමකි..

Comments