මී උණ රෝග තත්ත්වය වෛද්‍ය විද්‍යානුකූලව හැඳින්වෙන්නේ ලෙප්ටොස්පයිරෝසිස්(Leptospriois) නමිනි.රෝග කාරක බැක්ටීරියාව Leptospira ලෙස හැඳින්වේ.මගින් පුද්ගලයාගේ ශරීරයට බලපෑම් ඇති කරන්නේ තරමක් වෙනස් ආකාරයකිනි.මෙහි ප්‍රධාන රෝග ලක්ෂණ කිහිපයකි.ලංකාව තුළ ප්‍රකට වශයෙන් රෝගය වහනය කරනු ලබන්නේ මීයන් නිසා මෙම රෝගය "මී උණ" ලෙසින් හැඳින්වේ.
මීට අමතරව බල්ලන්,සාවුන්,මුවන්,ගවයන්
පමණක් නොව විවිධ වල් සතුන් මඟින් ද මෙහි ව්‍යාප්තිය සිදු විය හැකියි.රෝග කාරක බැක්ටීරියාව බහුල ස්ථානවල ලෙස මඩ වතුර සහිත වලවල්,කුඹුරු ජලය එකතු වන ස්ථාන,ගවයන් වැනි සතුන් සහිත ගොවිපල වල එම සතුන් ලගින මඩ හෝ ජලය පිරි කොටස්,ඇතැම් වන සතුන් නිතර ගැවසෙන හෝ එවැනි සතුන් නිතර යන එන මනුෂ්‍ය වාසස්ථාන,ගංවතුර තත්ත්ව හඳුනාගත හැකියි.මෙම රෝග කාරක විෂබීජය මිනිසාගේ ශරීරයට ඇතුළු වන්නේ රෝගය වැළඳුණු සතෙකුගේ මුත්‍රා මගිනි .මෙහි ප්‍රධාන රෝග වාහකයා ලෙස මීයා සැලකුවහොත් එහි ව්‍යාප්තිය පහත ආකාරයට පැහැදිලි කළ හැකියි.
ඒ අනුව රෝගය වැළඳුණු මීයෙකුගේ මුත්‍රා සමඟ මිශ්‍ර වූ වැසි ජලය,ගංවතුර,වැව් මෙන්ම කුඹුරවල ද මෙම රෝග කාරකය පැතිරී යා හැකියි.එම ජලය සම මත තිබෙන තුවාලයක් සහිත ස්ථානයකට පතිත වීම හෝ එම ජලය ස්නානය කිරිම හෝ එම ජලයට නිරාවරණය වී ඇසේ සුදු ඉංගිරියාව වටා ඇති සියුම් පටල මත ස්පර්ශ වීමෙන් හෝ මුඛය තුල පවතින සියුම් ස්ථානයක් මත ස්පර්ශ වීමෙන් ද මෙම බැක්ටීරියාව පහසුවෙන් ශරීරගත වේ.මීට අමතරව මී මුත්‍රා මගින් අපිරිසිදු වූ තණ බිමක හෝ පොළොව මත බල්ලෙක් වැනි සතෙකු ලෙවකෑමක් සිදු කළ විටදී එම බල්ලා විසින් පිට කරනු ලබන මුත්‍රා හරහාද මිනිසාට රෝග වැළඳිය හැකිය.
මෙම රෝග කාරක බැක්ටීරියාව ශරීරයට ඇතුළු වූ පසුව රෝගය වැළඳීමට දින 4 සිට 14 දක්වා කාලයක් ගත කරයි.ඇතිවිය හැකි රෝග ලක්ෂණ ප්‍රධාන කොටස් දෙකකට වෙන්කළ් හැකි.පළමු කොටස යටතේ මස්පිඩු වේදනාව ,තද හිසරදය, උණ මෙන්ම ශරීරයට දැනෙන ශීතල ස්වභාවය ආදී ලක්ෂණ පෙන්නුම් කරනු ලැබේ. මෙම රෝග ලක්ෂණ පහළ වීමෙන් පසුව රෝග ලක්ෂණ ක්‍රමයෙන් අඩු වී ව්‍යාජ සුවපත් ස්වභාවයක් ශරීරයට ඇති කරනු ලැබේ.රෝග ලක්ෂණවල දෙවෙනි කොටස ආරම්භ වන්නේ ඉන් අනතුරුවයි.මෙහිදී සිදුවන්නේ ශරීර අභ්‍යන්තර ඉන්ද්‍රියයන්ට බලපෑම් ඇති කිරීමයි.එම හානි අතර මොළයේ බාහිර ප්‍රදේශයට ඇති වන හානිය (මෙනින්ජයිටීස්),අක්මාවට සිදුවන හානි,වකුගඩු ආබාධ ,හෘදයට සිදුවන හානි පිළිබඳ මූලිකව හඳුනාගත හැකියි.මෙවන් අවස්ථාවකදී රෝගියා ජීවිතයත් මරණයත් අතර සටනක නිරත වේ.මෙසේ විවිධ අවස්ථාවල රෝග ලක්ෂණ මතු වීමත් යටපත් වීමත් නැවත බරපතළ රෝග ලක්ෂණ පෙන්නුම් කිරීමත් නිසා මුල් අවස්ථාවේදී වෛද්‍යවරුන්ට පවා රෝගය හඳුනා ගැනීම අපහසු වේ.
එබැවින් අවධානයෙන් සිටිය යුතු රෝග ලක්ෂණ ලෙස තද උණ ,තද හිසරදය ,උණ සමඟ දැනෙන සීතල ,තදබල මස්පිඩු වේදනාව ,වමනය ,ඔක්කාරය, ඇස් කහ පාට වීම (ඇතැම් විට බොරපාට හෝ රතුපාට ද විය හැකියි),බඩ කැක්කුම, පාචන තත්ත්වය ,සම මත ඇති වන ආසාදන (Rash), නියුමොනියා තත්ත්ව පිළිබඳව ද අවධානයෙන් සිටිය යුතුයි.
පෙර පැහැදිලි කළ රෝග ලක්ෂණ තිබේ නම් නොපමාව රෝහල්ගත වීම මූලිකව සිදු කළ යුතුයි.මී උණ විසබීජ එක්රැස් වන ගංවතුර වැනි ආපදා තත්වවලදී ආරක්ෂාකාරී වීම ඉතා වැදගත්.විශේෂයෙන් සමෙහි තුවාල ඇතිවිටත් වර්ෂා කාලයේදීත් මේ පිළිබඳ දැඩි අවධානයක් යොමු කළ යුතුයි.නමුත් රැකියාව නිසා මෙවන් ස්ථාන සමඟ නිතර ගැටීමට ලක්වන ගොවිමහතුන් මෙන්ම ගොවිපලවල ජීවත් වන පිරිස් ද මෙහිදී අවදානම ලක්වන බැවින් Doxycycline නැමැති ඖෂධය 200mg ප්‍රමාණයක් සතියකට වරක් ලබාගතයුතුයි.ගංවතුරට නිරාවරණය වුණු අය මෙන්ම සහන සේවා වල යෙදෙන පිරිස් ද මෙම ද රෝගකාරකය ට නිරාවරණය විය හැකි බැවින් ඒ සඳහා අවශ්‍ය ප්‍රතිකාර සඳහා යොමුවිය යුතුයි.විශේෂයෙන් ගැබිනි කාන්තාවන් මෙන්ම ඖෂධය අසාත්මික අයත් ඉන් වැළකී සිටීම ඉතා වැදගත්.ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු මෙන්ම අවශ්‍ය සහාය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී (MOH)කාර්යාල හා ක්ෂේත්‍ර ගොවිජන සේවා නිලධාරීන් මගින් ලබා ගැනීමේ හැකියාවක් තිබේ.
මෙම රෝගයට ප්‍රතිකාර ලබාදීමේ අරමුණ අදාළ රෝග කාරක බැක්ටීරියාව මර්දනය කිරීමත් දුර්වල වූ ශරීර ඉන්ද්‍රියන් යථා තත්ත්වයට පත් කිරීමත් ය.රෝගයේ මාරාන්තික බව පිළිබඳ සිතා බලන විට රෝගය වැළඳීමට පෙර වළක්වා ගැනීම වඩා බුද්ධිමත්ම ක්‍රියා මාර්ගයයි.
Comments
Post a Comment