දින 28ක වරක් ඔසප් චක්‍රය සිදුවිය යුතුමද?



 

තරුණියකගේ ආර්තවය (වැඩිවිය පැමිණීම) නිසි කලට පෙර සිදුවීමත්, ආර්තවහරණය (ඔසප් නැවතීම) නිසි වයස් ඉක්මවා පැවතීමත්, වර්තමාන සංස්කෘතිය අනුව දරුවන් මෙලොවට බිහි කිරිම දරුවෙකුට හෝ දෙදෙනෙකුට පමණක් සීමා කිරීමත් නිසා කාන්තාවකගේ ඔසප් චක්‍ර ගණනේ වැඩිවීමක් දක්නට ඇත.වර්තමානයේ ඉලක්ක බලාපොරොත්තු ඔස්සේ හඹායන පිරිස අවශ්‍ය වන්නේ සෑම සියලුදෙයක්ම තමන්ට අවශ්‍ය පරිදි සිදු වනවා දැකීමටය. එබැවින් තම සිරුරේ අභ්‍යන්තර ක්‍රියාවලියන් පවා කලට වේලාවට සිදුවිය යුතු යැයි ඔවුන්ගේ හැඟීමයි.

එබැවින් කාන්තාවකගේ ඔසප් චක්‍රයේ සාමාන්‍ය හා අසාමාන්‍යතාවය ගැන කාන්තාවන් සියලු දෙනාම දැනුවත් වී සිටීම අත්‍යවශ්‍ය වේ. ඔසප් චක්‍රයේ චක්‍රීය බව (නැවත නැවත සිදුවීම) සිදුවිය යුත්තේ ඔබ අප කවුරුත් දන්නා පරිදි දින 28ක වරක් යැයි සිතුවද දින 28ක් ඇතුළතදීම සිදුවිය යුතු වන්නේ නැත. සාමාන්‍යයෙන් නියමිත දිනට සතියක් පමාවී හෝ සතියක් පෙර හෝ දින 21 - 35 අතර ඕනෑම දිනයක ඔසප් චක්‍රය සිදු වු විට එය අසාමාන්‍ය තත්ත්වයක් නොවන බව හොඳින් වටහා ගත යුතුය.

ඔසප් වීමේදී ඇතිවන රුධිර වහනය කාන්තාවන් මුහුණ දෙන ඊළඟ ගැටලුවයි. සාමාන්‍යයෙන් රුධිර වහනය සිදුවිය යුත්තේ දින 3-4 පමණ වන තෙක්ය. නමුත් ඇතැමුන්ගේ රුධිර වහනය දින 1 -2ක් පැවතීම හෝ දින 5 -7 දක්වා කාලයක් පැවතීම අසාමාන්‍ය නොවන සාමාන්‍ය දෙයක් බවට පැහැදිලිව වටහාගත යුතුය. සාමාන්‍යයෙන් මිලි ලීටර් 30ක ප්‍රමාණයක රුධිරය වහනය වේ. නමුත් ඇතැමුන්ගේ මිලි ලීටර් 80 කට වඩා වැඩි ප්‍රමාණයක් රුධිරය වහනය වන්නේ නම් එය අසාමාන්‍ය තත්ත්වයකි. අනෙකුත් ප්‍රධානතම ගැටලුව වන්නේ ඔසප් වේදනාවයි. ඕනෑම කාන්තාවකට ඔසප් වීම තරමක වේදනා ගෙන දෙන්නකි. එය සාමාන්‍ය සිද්ධියකි. ඔබ කවුරුත් භාවිතා කරන සාමාන්‍ය වේදනා නාශකවලට මෙම වේදනාව සමනයට පත් කළ හැක.

එසේම ආර්තවය ආරම්භ වූ මුල් කාලයේ වසර 4 -5 දක්වාත්, ආර්තවහරණය ආසන්නයේ අවුරුදු 5 -6 දක්වා වූ කාලසීමාවේ වන ඔසප් චක්‍ර ගැටලු ඇතිවීම සාමාන්‍ය තත්ත්වයකි.ඉහත සඳහන් කළ ඔසප් චක්‍රයේ ගණනය, වහනය වන ප්‍රමාණය, වේදනාව මේ සියල්ල සාමාන්‍ය බැවින් කිසිසේත් මේවාට රෝගයක් යැයි සැක කර බියට පත්විය යුතු නැත.

නමුත් වෙනත් රෝගී තත්ත්වයන් නිසාද පාරිසරික බලපෑම් නිසාද අක්‍රමවත් ආහාර රටාව නිසාද, ඇතැම් ඖෂධ වර්ග නිසාද ඔසප් චක්‍රයේ අසාමාන්‍යතා ඇතිවිය හැකිය. මෙවැනි අසාමාන්‍යතාවයන් අතර ප්‍රධාන තැනක් ගන්නා තත්ත්වයක් වනුයේ පොලිසිස්ටික් ඕවේරියන් සින්ඩ්‍රෝම් යන තත්ත්යයි. මෙම තත්ත්වයෙන් පසුවන්නන්ගේ ඔසප් චක්‍රය නිසි ආකාරයට මාස්පතා චකී‍්‍රයව සිදුවන්නේ නැත. සාමාන්‍යයෙන් කාන්තාවකගේ ගර්භාෂයේ ජීව විද්‍යාත්මක ක්‍රියාවලිය නිසි ආකාරයට සිදුවන්නේ මේ අයුරින්ය. ඩිම්බ කෝෂය තුළ ඩිම්බ ගණනාවක් වර්ධනය වීම සිදුවන අතර මෙයින් එක ඩිම්බයක් දින 14 කට වරක් ඩිම්බ කෝෂයෙන් පිටවීම සිදුවේ. විවාහක කාන්තාවකගේ නම් ඇතැම්විට මේ පිටවූ ඩිම්බය පුරුෂයකුගේ ශුක්‍රාණුවක් සමඟ සංසේචනය වී දරුවකු පිළිසිඳ ගැනීමක් සිදුවිය හැක. එවිට ඔසප් වීම සිදු නොවන අතර එසේ නොවුණහොත් ඔසප් වීම මාස්පතා චක්‍රීය සිදු වේ. ගර්භාෂයේ යම්කිසි ගැටලු තත්ත්වයක් පැන නැඟුණ විට මෙම ක්‍රියාවලිය නිසි අයුරින් සිදු නොවීමට ඉඩ ඇත. එවිට ඩිම්බ පිට කිරීමේ ගැටලුවක් මතු වී චක්‍රීයව මාස් ශුද්ධිය සිදු නොවේ. මෙම තත්ත්වය හඳුන්වන්නේ පොලිසිස්ටික් ඕවෙරියන් සින්ඩ්‍රෝම් යනුවෙන් මෙම තත්ත්වය හඳුනාගැනීමේ ලක්ෂණයක් ලෙස මාසික ඔසප් චක්‍රය අක්‍රමවත් වීම හැඳින්විය හැක.

මේ ආකාරයට අක්‍රමවත් වීමට හේතුව හඳුනාගැනීමට සඳහා ඉජචද පරීක්ෂණයක් සිදු කර ඩිම්බ කෝෂවල තත්ත්වය නිරීක්ෂණය කිරීමත් හෝර්මෝන තත්ත්වය පරීක්ෂා කර බැලීමක් සිදු කළ යුතු අතර නිසි රෝගී තත්ත්වයට ප්‍රතිකාර කිරීමෙන් සහ ඔසප් චක්‍රය ක්‍රමවත් කරලීම සඳහා ඖෂධ ලබාදීමද සිදුකළ යුතුය. තවද පොලිසිස්ටික් ඕවරීස් නැමැති තත්ත්වයෙන් පෙළෙන කාන්තාවන්ගේ ස්ථුලත්වය සහ ශරීරයේ බර පාලනය කර ගැනීමට අපහසු බැවින් ඉන්සියුලීන් ප්‍රතිරෝධත්වයට විරුද්ධව ජීවන රටාවන් පවත්වාගෙන යාම රෝගය වළක්වා ගැනීමට ඉමහත් රුකුලක් වනු ඇත.



Comments