දුම්කොළ සපන විට පිළිකා ජනක 28ක් සිරුරට උරාගන්නවා

 දැහැතේ දුම්කොළ, පුවක්, හුණු, පුවක් ඉවත් කළේ ඇයි?



දුම්කොළ දැහැත් වට්ටියේ තබා පිදුව ද ඇත්තෙන්ම දුම්කොළ නිසා වසරකට මිලියන හයකට ආසන්න පිරිසක් ලොව පුරා මිය යන බව ඔබ දන්නවාද?දුම්කොළ බීමේදී (පානය) හෝ සැපීමේදී හෝ ඒවා අතිශය පාලනයකට නතු නොකළහොත් ඒ මරණ ප්‍රමාණය මිලියන අටක් දක්වා ඉහළ යා හැකි බවද ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දී ඇත. කෙසේ හෝ මේවා දුම්කොළ පානයක් ලෙස හෝ බුලත් විට සමඟ සැපීම නිසා එවන් අයගෙන් තුනෙන් එකක්ම දුම්කොළ නිසා ඇතිවන අතුරු ආබාධ හේතුවෙන් අකාලයේ මිය යයි. තවද සමස්තයක් ලෙස ගත් කළ සෑම තත්ත්පර හයකට වරක් ලෝකයේ කොහේ හෝ දුම්කොළ හේතුවෙන් මරණයක් වාර්තා වේ.


දුම්කොළ සපන විට පිළිකා ජනක 28ක් සිරුරට උරාගන්නා අතර මුඛය, ග්‍රසනිකාව, උගුරේ හා ගලනාලයේ පිළිකා ඇතිවීම සිදු වේ.එබැවින් මෙවන් මහා විනාශයකට මග පාදන දුම්කොළ දැහැත් වට්ටියේ තබා මහා සංඝරත්නය වෙත පූජා කිරීම මොනතරම් නොවටිනා ක්‍රියාවක් දැයි ඔබට වැටහෙනවා ඇත. පුවක් සැපීමෙන් නයිට්‍රොසැමීන් නම් වූ පිළිකා ජනක 4ක් සෑදෙන අතර එමඟින් මුඛයේ, ග්‍රසනිකාවේ, උගුරේ හා ගලනාලයේ පිළිකා ඇති කරයි.පුවක් සැපීම නිසාම ඇතිවන මුඛ ශ්ලේෂ්මලයෙන් ෆයිබ්‍රෝසියාව නම් වූ සුව කළ නොහැකි රෝගයෙන් පීඩා විඳින රෝගීන් සංඛ්‍යාව ද අති මහත් බව හඳුනාගෙන ඇත.

හුණු


හුණු මුඛ ශ්ලේෂ්මලය තුවාල කරන අතර එමඟින් දුම්කොළ සහ පුවක්වල ඇති පිළිකා ජනක සිරුරට ඇතුළු වීම පහසු කරයි. ඊට අමතරව ශලේෂ්මල සෛල විනාශ කරමින් ජාන විකෘතිතා ඇති කිරීමට පුවක් සහ හුණුවලට හැකි බැවින් එමඟින් ද පිළිකා හට ගැනීම සිදු වේ.

ශ්‍රී ලංකාවේ මුඛ පිළිකා හා ගලනාල පිළිකාවේ ප්‍රවනතාවය 




ජාතික පිළිකා මර්දන වැඩසටහන් සංඛ්‍යා ලේඛනවලට අනුව වසරකට 2000ක් පමණ මුඛ පිළිකා රෝගීන් අලුතින් ලියාපදිංචි වන අතර වසරකට 900 - 1000ක් පමණ මුඛ පිළිකා රෝගීන් මිය යයි. තවද සමස්තයක් ලෙස ගත් කල දිනකට දෙදෙනෙකු හෝ තිදෙනෙකු මුඛ පිළිකාවෙන් මිය යයි.තවද ගලනාල පිළිකාව නිසා වසරකට අලුතෙන් රෝගීන් 1000ක් පමණ රෝහල් ගත වන අතර ආහාර ගිලීමට නොහැකිව අනේක දුක් විඳ මරණයට පත් වේ. එබැවින් මෙවන් දුක්ඛ දෝමනස්සයන්ට හේතුවන පිළිකා වැළඳීමට හේතුවන දුම්කොළ, පුවක් සහ හුණු පූජා නොකිරීමට ඔබ තීරණය කරනවා නම් කොපමණ යහපපක් ද? පැසසුම් කටයුතු ද?

අනුමත නව දැහැත් වට්ටියේ අඩංගු වන්නේ මොනවාද?

බුලත් කොළ

බුලත් කොළයේ බුලත් තෙල්, Hydroxychavicol, Eugenol, Betel phenol, Chavicol, විටමින් සී සහ බීටා කැරොටීන් අන්තර්ගතය. එහිදී විටමින් සී සහ බීටා කැරොටීන් පිළිකා නැසීමට හේතුවක් ලෙසද හඳුනාගත හැක. බුලත් කොළයේ පිළිකා ජනක නැති නමුත් බුලත් දඬු, මල් සහ කරල්වල ඇති සැෆ්රෝල් නමැති ෆිනෝල් වර්ගය පිළිකා කාරකයක් විය හැකි බව යම් පර්යේෂණ මඟින් පෙන්වා දී තිබේ. නමුත් අප රටේ මිනිසුන් බුලත් කොළයේ දෙකෙලවර කඩා කෑමට පුරුදු වී ඇති බැවින් එම අහිතකර බලපෑමෙන් මිදේ.

කරදමුංගු (එනසාල්)

කරදමුංගු Ginger පවුලට අයත් ශාකයකි. අත්‍යවශ්‍ය තෙල් ( Essential oils) ගණනාවක් කරදමුංගුවල අඩංගු වේ. තවද කරදමුංගු කොළ සහ කළු වශයෙන් ප්‍රභේද දෙකක් ඇති අතර කොළ කරඳමුංගු විදුරුමස් දියවීම උගුරේ ආසාදන පෙනහලු ප්‍රදාහයන්, ක්ෂය රෝගය මෙන්ම ආහාර දිරවීමේ රෝග සුව කිරීමේ හැකියාවෙන් යුතු බව හඳුනාගෙන තිබේ. ඊට අමතරව මෙය වකුගඩු ගල් සහ පිත්තාශයික ගල් දිය කිරීමට සමත් බවද හඳුනාගෙන ඇත.

කරාබුනැටි

කරාබුනැටි Mytaceae පවුලට අයත් වන අතර, කරාබු නැටි තෙල් ආයුර්වේදිය ඖෂධයක් ලෙසද ආහාර රස කාරකයක් ලෙසද ඉතා බහුලව භාවිතා වේ. දන්ත රෝග සඳහා ද දත් කැක්කුමට ප්‍රතිකාර වශයෙන් ද යොදා ගනී. මීට අමතරව රුධිරයේ සීනි ප්‍රමාණය පහළ දැමීමට ද, උණ අඩු කිරීමට ද එමෙන්ම Herpesvirus රෝගයට ප්‍රතිකාර ලෙසද යොදා ගැනේ.

සාදික්කා වසා වාසි

මෙය Myristica Fragrans පවුලට අයත් ශාඛයකි. මෙහි සාදික්කා බීජය වන අතර, වසාවාසි එම බීජයේ පිටින් ඇති රතු පාට කවරයයි. සාදික්කා තෙල් දත් දිරා යෑම සිදු කරන Streptococcus mutans  බැක්ටීරියාව විනාශ කිරීමට ද, ලියුකීමියා රෝගයට ප්‍රතිකාරයක් ලෙසද භාවිතා කළ හැක.එසේම වැදගත් කරුණක් ලෙස සිහි තබාගත යුතු දෙයක් නම් සාදික්කා තෙල් මඟින් ගබ්සාවීම් සිදු වීමට හැකියාවක් ඇති බවත්, එහි ඇති මත් ගතිය නිසා ඇබ්බැහි වීමක් සිදුවිය හැකි බවත්ය.

ඉඟුරු පියළි

මෙයද ඉඟුරු පවුලට අයත් ශාකයක් වන අතර මෙය ප්‍රධාන වශයෙන් ආහාර අජීර්ණය, සෙම්ප්‍රතිශ්‍යාව, මස්පිඬු වේදනාව, හිස කැක්කුම හා දත් කැක්කුමට ප්‍රතිකාර ලෙස භාවිතා වේ. තවද විසබීජ ආසාදන අඩු කිරීමට මෙන්ම ආශ්වාසයෙන් නින්ද ඇති කිරීමට ද සමත් ගුණයෙන් යුතුය. එසේම මෙහි අඩංගු E thyl - P- Methoxycinnamate රසායනය මඟින් ක්ෂය රෝගය සමනයට හා අක්මා පිළිකා සෛල නැසීමට උපකාර වන බව හඳුනාගෙන තිබේ.
ඒ අනුව මෙම අලුත් දැහැත් වට්ටියේ අඩංගු දෑ ඉතා වටිනා ඖෂධීය වටිනාකමකින් යුතු ද්‍රව්‍ය බව පැහැදිලි වේ.


 “බුලත් සැපීමට නොව පිදීමට පමණි” යන අරුත්බර තේමාව යටතේ දැහැත් වට්ටියට ඖෂධීය වටිනාකමක් එකතු කරමින් අපේ සම්ප්‍රදායන් ඉදිරියට රැගෙන යමු.


Comments