බොහෝ පුද්ගලයින් තමාට අධි රුධිර පීඩනය තිබෙනවාදැයි නොදනියි





මෑතකදී සියලු දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි අවුරුදු 18-69 අතර පුද්ගලයන් යොදා ගෙන කරන ලද සමීක්ෂණයකට අනුව  ශ්‍රී ලංකාව තුළ අධි රුධිර පීඩනයෙන් පෙළෙන ප්‍රතිශතය 35% ලෙස දක්වා ඇත. එය ඉතා ඉහල ප්‍රතිශතයකි.රුධිර පීඩනය 140/90 mmHg ට වඩා වැඩි වූ විට අධි රුධිර පීඩනය ලෙස හඳුන්වයි.මෙහි පළමු අගය ආකුං ච පීඩනය( systolic ) ලෙසද  දෙවන අගය විස්තාරණ පීඩනය(diastolic ) ලෙසද හඳුන්වයි.මෙය තව දුරටත් පැහැදිලි කරන්නේ නම් පළමු අගය(systolic blood pressure ) කියන්නේ හෘදය වස්තුවෙන් එළියට රුධිරය පොම්ප කරන අවස්ථාවේදී ධමනි නාල මත ඇතුළතින් ඇතිවන පීඩනයයි .

දෙවන අගය (diastolic blood pressure )කියන්නේ හෘදය විස්තාරණය වී විවේකීව තිබෙන විට ධමනි මත ඇතුළතින් ඇතිවන පීඩනයයි.දර්ශීය විදිහට සාමාන්‍ය රුධිර පීඩනය ලෙස 120/80 mmHg හැඳින්වූවද එය සුළු වශයෙන් එහා මෙහා විය හැකියි.පුද්ගලයෙක් විවේකීව සිටින විවිධ අවස්ථාවලදී  මනිනු ලබන රුධිර පීඩන අගයන් කිහිපයක්ම ඉහල අගයන් වල පවතී නම් පමණක් අධි රුධිර පීඩනය හඳුනා ගැනේ.



බොහොමයක් පුද්ගලයින් තමාට අධි රුධිර පීඩනය තිබෙනවාදැයි වත් දන්නේ නැත. මෙය නිහඬ මාරයකු ලෙස සලකයි. ගොඩක් දෙනෙක් එය දැනගන්නේ  වෙනත් වෛද්‍ය ගැටලුවකට ප්‍රතිකාර ගැනීමට ගිය විට සාමාන්‍ය පරීක්ෂාවේදී සිදු කරන රුධිර පීඩන පරීක්ෂාවේදීය. නැතහොත් අධිරුධිර පීඩනය නිසා ඇතිවන සංකූලතා හේතුවෙන්ය.


බොහෝ වෙලාවට,

🟣හිසරදය

🟣කලන්ත කැරකිල්ල ගතිය


🟣පෙනීමේ ආබාධ ඇතිවිය හැකියි


අධි රුධිර පීඩනය වෙනත් බරපතල රෝග රැසක මූලාරම්භයකි.බොහෝ කාලයක් රුධිර නාල මතට අධික රුධිර පීඩනයක් පැමිණි විට එම රුධිර නාල හානි වීමකට ලක්වන අතර හෘදය ට ද ඇතිවන පීඩනය වැඩි කරයි. සරලව කියනවනම් රුධිර පීඩනය වැඩි වෙන්න වැඩි වෙන්න ඔබට ඇතිවන සෞඛ්‍ය ගැටලු වැඩිවේ.



අධිරුධිර පීඩනය නිසා ඇති විය හැකි සෞඛ්‍ය ගැටලු


🔶හෘදය අකර්මණ්‍යවීම

🔶හෘදයාබාධ

🔶හෘද ස්පන්දනය අක්‍රමවත් වීම.(Atrial fibrillation )

🔶අංශභාගය

🔶වකුගඩු අකර්මණ්‍යතාවය

🔶ඇස් පෙනීමේ ගැටලු


අධි රුධිර පීඩනය ඇතිවීමට හේතු සාධක 

🔶දියවැඩියාව

🔶අධිරුධිර පීඩනය සම්බන්ධ පවුල් ඉතිහාසය

🔶අධික ලුණු භාවිතය

🔶දිනකට වැඩිහිටි පුද්ගලයකුට අවශ්‍යය ලුණු ප්‍රමාණය 5g වන අතර සමීක්ෂණයකින් හෙළි වී ඇත්තේ ලංකාව තුළ එම ප්‍රමාණය 14.2 g බවයි. එය අනුමත ප්‍රමාණයට සාපේක්ෂව තුන් ගුණයකට ආසන්න වේ. ඒ පිළිබඳව ඔබේ අවධානය යොමු කරන්න.

🔶තරබාරු බව

🔶ව්‍යායාම නොකිරීම

🔶අධික මානසික පීඩනය

🔶අධික ලෙස මත්පැන් පානය

🔶අධික ලෙස දුම් වැටි පානය


වෙනත් රෝගයක රෝග ලක්ෂණයක් ලෙසද අධි රුධිර පීඩනය ඇතිවිය හැකියි.(secondary hypertension )


🔶වකුගඩු වලට රුධිරය සපයන නාල සිහින් වීම

🔶දීර්ඝ කාලීන වකුගඩු අකර්මණ්‍යතාවය

🔶වකුගඩුවල ඇතිවන පිළිකා තත්ත්ව

🔶හෝමෝන අසමතුලිතතාවය

( තයිරොයිඩ් ගැටලු, Acromegaly, primary hyperaldosteronism,phaeochromocytoma)

🔶Obstructive sleep apnoea


අධික රුධිර පීඩනය  ඇති බවට තහවුරු වුවහොත් තවත්  පරීක්ෂණ 


🔶මූත්‍රා පරීක්ෂණ

🔶වකුගඩුවල ක්‍රියාකාරීත්වය බැලීමේ පරීක්ෂණ

🔶කොලොස්ට්‍රෝල් මට්ටම පරීක්ෂා කිරීම

🔶සීනි මට්ටම පරීක්ෂා කිරීම

🔶ECG ලබාගැනීම

🔶වෙනත් රෝගයක රෝග ලක්ෂණයක් ලෙස අධි රුධිර පීඩනය පැමිණ ඇත්දැයි පරීක්ෂා කිරීම


අධි රුධිර පීඩනය වළක්වා ගන්නේ කෙසේද?


🔶අධික ලුණු භාවිතයෙන් වැළකීම

🔶 මත්පැන් පානය හා දුම් වැටි පානයෙන්  වැළකීම

🔶එදිනෙදා ව්‍යායාමවල නිරතවීම

🔶ශරීර බර නියමිත අගයේ පවත්වා ගැනීම

🔶තෙල් පිටි සීනි අඩු ,  එළවලු පලා වර්ග වැඩි සමබල ආහාර වේලක් ලබා ගැනීම.

🔶මනස සැහැල්ලු කරන ක්‍රියාකාරකම් වල යෙදීම.


අධි රුධිර පීඩන මට්ටම අනුව සහ වයස අනුව ඖෂධ නියම වේ. පළමු පියවරේ ඖෂධ  වලට ප්‍රතිචාර නොදක්වන්නේ නම් දෙවන පියවරේ ඖෂධ නියම කෙරේ. එසේ ඔබේ වෛද්‍යවරයා විසින් රුධිර පීඩන පරීක්ෂා කිරීමෙන් පසුව අදාල ඖෂධ නියම කෙරේ.ඔබට පැවසිය යුතු වැදගත් කාරණයක් වන්නේ අවුරුදු 35 අඩු පුද්ගලයකුට අධික රුධිර පීඩනය ඇති බවට සොයා ගත්තොත් එම පුද්ගලයාට නිදන්ගත රෝගයක් ඇතිදැයි සොයා බැලීම අනිවාර්ය වේ.


Comments