මෙච්චර කල් සිලිකා ජෙල් බෑග් විසික්කරාද ? අපරාදේ...

 


එදිනෙදා අපි විවිධාකාර දේවල් වෙළෙඳපළෙන් මිලදී ගත්තත් ඒවා අසුරා ඇති ආකාරය පිළිබඳව හා ඒ බහාලුම් තුළ ඇති දේවල් පිළිබඳ සැලකිලිමත් වන්නේ නැහැ. විශේෂයෙන් සපත්තු, ප්ලාස්ටික් බෝතල් මේ ආදී දේ මිලදී ගැනීමේදී ඒවා අසුරා ඇති පෙට්ටි තුළ ඇති අනෙකුත් සියලු දේ ඉවත දමා අදාළ භාණ්ඩය පමණක් භාවිතා කළ ද වටිනාකමක් නැතැයි සිතා ඔබ ඉවත දමන ඇතැම් කුඩා දේවල තිබෙන ප්‍රයෝජනය සිතා ගැනීමටවත් නොහැකි වේවි.ඔබ දැක තිබෙනවාද? ඇතැම් භාණ්ඩ අසුරා ඇති පෙට්ටි තුළ කුඩා සුදු පැහැති හෝ කහ පැහැති කුඩා විනිවිද පෙනෙන බෝල අඩංගු පැකට්ටු. ඒවා සිලිකා එසේත් නැතිනම් සිලිකන්ඩයොක්සයිඩ් ලෙසින් හඳුන්වනවා. බොහෝදුරට මෙම කුඩා ප්‍රමාණයේ පැකට්ටු අප අසා ඇති ආකාරයට ආහාරයට ගැනීමට නුසුදුසු නිසා වගේම ප්‍රයෝජනයක් නැති නිසා ඒවා ඉවත් කර දමනවා. එසේ වුවත් මෙම සිලිකා අඩංගු පැකට්වලින් නිවසේදී ඉටු කරගත හැකි වෙනත් ප්‍රයෝජන තිබෙන බව ඔබ දන්නවාද?

ඔබේ අල්මාරිය තුළ දමන්න

අපි කවුරුත් ඇඳුම් අල්මාරිය පිළිවෙලකට පිරිසුදුවට තබා ගන්න. කැමතිනේ. හැබැයි කාලයක් ගත වෙන කොට ඒ තුළින් යම් අමුතු ගන්ධයක් ඇතිවන බව අපි කවුරුත් අත්දැකීමෙන්ම දන්නවා. නමුත් සිලිකා ජෙල් අඩංගු පැකට්ටු ඔබගේ අල්මාරිය තුළට දැමිමෙන් හොඳ ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. ඒ මඟින් අල්මාරිය තුළ තිබෙන දුඟද ඉවත් කරන්නට පුළුවන් වෙනවා විතරක්ම නෙමෙයි තෙතමනය පවා උරාගන්න නිසා පුස් වැනි දේවල් ඇතිවීම ගැන බියක් ඇති කරගන්න ඕනෙත් නැහැ.


ව්‍යායාම ඇඳුම් පැළඳුම් දමන බෑගයේ දමන්න

ව්‍යායාමය කොතරම් ජීවිතයට වැදගත් ද? අපි ව්‍යායාම කරනවා වගේම ඒ සඳහා භාවිතා කරන ඇඳුම් පැළදුම් ගැන විතරක්ම නෙමෙයි උපකරණවල පිරිසුදුකම පිළිබඳ සැලකිලිමත් වෙන්න අවශ්‍යයයි. විශේෂයෙන් ඔබ ජිම් එකක ව්‍යායාම කරනවා නම් ඔබේ ව්‍යායාම උපකරණ මෙන්ම ඇඳුම් බහලන බෑගයේ පිරිසුදුකම පිළිබඳ දෙවරක් සිතා බැලිය යුතුයි.ඔබ දන්නවාද? සිලිකා අඩංගු කුඩා පැකට්ටු ඔබගේ බෑගය තුළ රඳවා ගැනීමෙන් බැක්ටීරියා වර්ධනය වීම ඉතා හොඳින් පාලනය කරනු ලැබෙන බව. ඒ වගේම මෙම සිලිකා ජෙල් බෑග් මඟින් එහි ඇති දුඟද පවා ඉවත් කිරීමට ද හැකියාවක් තිබෙනවා. ඒ වගේම මෙම කුඩා පැකට්ටුව ඔබේ බෑගය වියළිව තබනවා පමණක්ම නොවෙයි පිරිසුදුවට තබා ගැනීමට ද උපකාරී වෙනවා.

වතුර නිසා ඔබේ හානි වූ දුරකථනයට


සිතන්න යම් හදිසි අනතුරකින් ඔබේ දුරකථනයට ජලයෙන් හානි වුණු බව. මෙම සිලිකන්ඩයොක්සයිඩ් අඩංගු කුඩා බෑග්වල තෙතමනය උරාගන්න ගුණ නිසා ඔබට ඇතිවුණු ගැටලුව විසඳා ගන්න එතරම් අපහසු වෙන එකක් නැහැ. සිලිකා ජෙල් බෑග් 4,5 ක් සමඟ ඔබේ හානි වූ දුරකථනය තබන්න. එමඟින් ඉතාමත් ලේසියෙන් තෙතමනය උරා ගන්නා නිසා දුරකථන වියළි කිරීම එතරම් අපහසුවෙන එකක් නැහැ.


Comments